ජීවිතයත් මරණයත් උතුම් ධර්මයේ කොටසකි ②
නිචිකෝ නිවානෝ තුමා
ප්‍රධානී, රිෂ්ෂෝ කෝසෙයි සංවිධානය
小.png)
“නිර්මාතෘ තුමාගේ 120 වන ජන්ම දින සංවත්සරය” පිළිබඳව ආවර්ජනය
මෙම වසරේ අප සංවිධානයේ නිර්මාතෘ තුමාගේ 120 වන ජන්ම සංවත්සරය සනිටුහන් කරන අතර, මෑතකදී එක් පුද්ගලයෙක් විසින් “අප සංවිධානයේ සාමාජිකයන් විසින් උරුම කරගෙන ඉදිරියට ගෙන යා යුතු නිර්මාතෘ තුමාගේ ඉගැන්වීම්, ක්‍රියාවන් හෝ එතුමාගේ ආධ්‍යාත්මික ආකල්පය කුමක්ද?” යනුවෙන් විමසනු ලැබිණි. එහිදී මම, මගේ අවංක හැඟීම පහත සඳහන් අයුරින් පැවසුවෙමි.
එනම්, “සෑම පුද්ගලයෙකුටම වෙනස් පෞරුෂයන්, අද්විතීය ගුණාංග සහ ජීවන රටාවක් ඇති බැවින් නිර්මාතෘ තුමා නිර්මාතෘ තුමාම වේ. අපි සියලු දෙනාම තම අද්විතීය ගුණාංග උපරිමයෙන් ප්‍රකාශ කරමින් අන් අයට ප්‍රයෝජනවත් වන පුද්ගලයන් බවට පත්වීම වැදගත්ය” යනුවෙනි.
ශාක්‍යමුණි බුදුරජාණන් වහන්සේ සියලු ශ්‍රාවකයන්ට “තමා තමන්ටම ආලෝකයක් වන්න, ධර්මය තමන්ට ආලෝකයක් කර ගන්න” යනුවෙන් දේශනා කළහ. එම දේශනාවේ සඳහන් පරිදි, අපි නිර්මාතෘ තුමාගේ මඟ පෙන්වීම යටතේ අප ඉගෙනගත් ධර්මයත්, බුද්ධ ස්වභාවයේ ප්රකාශනයක් වන තමන්ගේම අභ්‍යන්තරය මත විශ්වාසය තබා අපට හැකි උපරිමයෙන් තමන් වටා සිටින අයට ආලෝකය, කරුණාව සහ උණුසුම ලබා දීම වැදගත් වේ.
කෙසේ වුවද, “තමා තමන්ටම ආලෝකයක් කර ගැනීම, ධර්මය තමන්ට ආලෝකයක් කර ගැනීම” වැදගත් බව දැන සිටියද, අපි බොහෝ විට ලෝභය සහ කෝපය වැනි හැඟීම්වලට හසුවී, තම ශරීරය සහ සිත සංවර කරගෙන පාලනය කරගැනීමට ඇති පිහිට අපි නැති කරගන්නෙමු. එබැවින්, “නිර්මාතෘ තුමාගේ ජන්ම දින සැමරුම” වැනි සංවත්සරවලදී පමණක් නොව, දිනපතාම සද්ධර්ම පුණ්ඩරීක සූත්‍රයේ සඳහන් බෝධිසත්වයන්ගේ ආධ්‍යාත්මික ආකල්පය ගැඹුරින් සිහි කරමින්, සෑම දිනක්ම අලුත් හැඟීමකින් ගත කිරීමේ පුරුද්ද ඉතා වැදගත් වේ. එමගින් තමන්වම පාලනය කරගනිමින්, තමන් වටා සිටින අයගේ ජීවිත ආලෝකමත් කල හැකි ජීවිතයක් ගත කිරීමට බලාපොරොත්තු වෙමි.
මම පසුගිය මාසයේ “අපි විශ්වය ආරම්භ වූ දා සිට ‘සදාකාලික ජීවිතයක්’ ගත කරමින් සිටිමු” යනුවෙන් පැවසුවෙමි. ඒ තුළ, අපි මේ මොහොතේ මෙලොව මිනිසුන් ලෙස ජීවිතය ලබා සිටින්නෙමු. කෙසේ වුවද, එය අප ජීවත් වන අඛණ්ඩ “සදාකාලික ජීවිතයේ” ඉතාමත් කෙටි මොහොතක් පමණි. ඈත අතීතයේ සිට අනාගතය දක්වා දිවෙන කාල රේඛාව මත දිදුලන කුඩා, දුර්වල ආලෝකයක් වැනිය.
එසේනම්, කුමක් නිසා අප එතරම් සුළු කාලයකට පමණක් “දුක්ඛිත ලෝකය” ලෙස හඳුන්වන මේ ලෝකයේ අපි වුවමනාවෙන්ම උපත ලැබුවේද?
සද්ධර්ම පුණ්ඩරීක සූත්‍රයෙහි, අපි “ප්‍රාර්ථනා කල නිසා මේ ලෝකයට උපත ලබා පැමිණියෙමු” ලෙස සඳහන් වේ. කුමන ප්‍රාර්ථනාවක් ඇතිව මේ ලෝකයට උපත ලබා පැමිණියේ දැයි කිවහොත්, බුදුරජාණන් වහන්සේගේ අභිලාෂය තම ජීවිතයට ගෙන, දුක් කරදරවලින් පීඩා විඳින පුද්ගලයන්ව මුදවා ගැනීමට අවශ්‍යයි යන ප්‍රාර්ථනාවයි. එවිට, “තමන්ගේ සහ අන් අයගේ දුක් කරදර ස්වල්ප ප්‍රමාණයෙන් හෝ නැති වී යන ලෙස” මාර්ගයක් සොයමින්, “සියලු දෙනා එකමුතුව සතුටින් ජීවත් විය හැකි ලෝකයක් ඇති වේවා” යන ප්‍රාර්ථනාවෙන් උත්සාහයෙන් කටයුතු කරනු ඇත. එය අපගේ ජීවිතය වන අතර, මිනිසුන් ලෙස අප මේ ලෝකයට උපත ලබා පැමිණ ඇති අර්ථය ලෙස පිළිගත හැක.
තවද, මේ ලෝකය “ආධ්‍යාත්මික වර්ධනය සඳහා වූ තාවකාලික ස්ථානයක්” ලෙස ප්‍රකාශ කරන පුද්ගලයන්ද සිටී. මෙය මා මෙතෙක් බොහෝ වාර ගණනක් ප්‍රකාශ කල “වීර්යය වඩන්න, වීර්යය වඩන්න, මිය යන තුරුම වීර්යය වඩන්න, නැවත උපත ලැබුවහොත් නැවතත් වීර්යය වඩන්න” යන ජීවන රටාව හා ජීවිතය සම්බන්ධ දෘෂ්ටිකෝණයට සම්බන්ධ වන බවක්ද හැඟේ. අපට අනුව, මේ ලෝකයේ “ජීවිතය” යනු සතුට හා දුක යන දෙකම අත්විඳීමටත්, මිනිසුන් ලෙස වර්ධනය වීමටත් වටිනා ස්ථානයක් සහ කාලයකි.
නැවතත් අවධාරණය කරන්නේ නම්, මේ ලෝකයේ ජීවිතය “සදාකාලික ජීවිතයේ” ඉතා සුලු මොහොතක් පමණි. එම සුලු මොහොතේ, මිනිසෙකු ලෙස වන ජීවිතය පිළිබඳ සෑම දෙයක්ම සංක්ෂිප්ත වන බව, මා පසුගිය මාසයේ හඳුන්වා දුන් හරුඔ සජි මහතා විසින් පැවසුවේය. එපමණක් නොව, අපට ලැබී ඇති මෙම අතිශය වටිනා ජීවිතය ගැනත්, අපගේ ප්‍රාර්ථනාවෙන්ම මේ ලෝකයට උපත ලබා ඇති බවත් සිතා බැලූ විට, මේ ලෝක ජීවිතයේදී සුලු ආත්මාභිමානයන්ට හෝ වාසි අවාසි ගණනය කිරීමට හසුවී කාලය ගත කිරීමට අපට කාලයක් නොමැත. මන්ද යත්, මියසවා කෙන්ජිගේ “මුලු ලෝකයම සතුටට පත් නොවන තාක්, තනි පුද්ගලයෙකුගේ සතුට පැවතිය නොහැක” යන කියමනත්, බෝධිසත්වයන්ගේ ආධ්‍යාත්මක ආකල්පයත් හදවතේ තබාගෙන, අනුකම්පාව කිසිවිටෙක අමතක නොකර, අප සමඟ එකම කාලයේ ජීවත් වන සහෝදර පුද්ගලයන්ට සතුට ලබාදෙන මිනිසෙකු ලෙස ජීවත් වීම, අප දැන් මේ පෘථිවිය මත ජීවිතයක් ලැබීමේ සැබෑ වටිනාකම සහ අර්ථය මිස අන් කිසිවක් නොවේ.
“විශ්වීය දෘෂ්ටිකෝණයෙන් තමන් දෙස බලන්න යයි, පුරාණයේ බුදුරජාණන් වහන්සේත් ක්‍රිස්තුන් වහන්සේත් අනුකම්පාවෙන් ඉගැන්වූහ” යයි කාව්‍ය රචකයෙකු වන උත්සුබො කුබොතා පවසයි. විශ්වීය දෘෂ්ටියත්, සදාකාලික සහ අනන්ත කාලයක් පුරා අඛණ්ඩව සිදුවන ජීව ප්‍රවාහයත් හදවතේ ගැඹුරින් සනිටුහන් කරගත් විට, උපත සහ මරණය පිළිබඳ ඇති කනස්සල්ල ඉක්මවා, තමන්ට ලැබුණු ජීවිතය උපරිමයෙන් ප්‍රයෝජනයට ගනිමින් ජීවත් විය යුතු ආකාරය පිළිබඳ අපගේ අධිෂ්ඨානය ස්ථිර වේ.
『කෝසෙයි』 2026 නොවැම්බර් මස කලාපය